Friday, January 6, 2012

නිල් කොට කලිසම


මතකද ඉස්කෝලෙ කාලෙ හොඳටම ලැජ්ජා වුණු දවස. කතාවට කියනවා වගේ විලි ලැජ්ජා වුණු සීන් එක. යාළුවෝ සෙට් එක එක්ක එහෙම නෙමේ ඔන්න තට්ට තනියම.

මට ඔය මතකෙ තියෙන්නේ අතින් අල්ලන්න පුළුවන් තැනක එහෙම නෙමේ. හුගක් ඈතක. පොත් රාක්කයක පිළිවලට පොත් අඩුක්කරලා තියනවා වගේ පරණ අත්දැකීම්,මතකයන් පිළිවලට අඩුක්කරලා තියාගන්න පුළුවන් නම් මේ මතකය තියෙන්න ඕනෙ අඩියෙම තියන පොතට ටිකක් විතර උඩින්.

10 වසර පන්තිය පටන් ගත්ත දවස් වලට අන්න වෙනවා මේ කතාව පටන් ගන්න නම්.
අපේ ඉස්කෝලෙ 9 වසරෙන් 10 ට යනකොට පිරිමි ළමයි නිල් කොට කලිසම් වලට සමුදීලා සුදු දිග කලිසම් වලට මාරැ වෙන්න ඕනෙ. ඒක නීතියක්. ඒ නීතියට කොල්ලො හෙන කැමතියි. පොඩි එවුන් කියන ලේබලේ ගැලවෙන හින්දා මාත් එකෙන්ම කැමැත්තෙන් හිටියෙ සුදු කලිසම් වලට. අනික 9 වසරෙ අන්තිම වෙද්දි මගෙ කලිසම් ඔක්කොගෙම වගේ ඇන්දහම කලව පේනවා. අම්මට කොච්චරවත් කිව්වද මේවා අදින්න බෑ කියලා. කෝ ඇහුවැ. දැම්ම ඉදං ඉලන්දාරිකම් කරන්න ලෑස්ති වෙන්න එපා ලමයො.ඔහොම තමා කිව්වෙ ඇහුව හැම වෙලේම.

9 යෙ අන්තිම දවසෙද කොහෙද ලකා (ලක්මාල් සර්) කිව්වා එන අවුරැද්දෙ මුල් සති දෙකේ විතරක් නිල් කලිසම් අඳින්න දෙනවා කියලා. අපිට සුදු රෙදි දෙන්න පරක්කු වෙයි කියලත් කිව්වා. ඒ හින්දා කඩෙන් රෙදි අරන් කලිසම් මහගන්න කිව්වා.

කොහොම හරි ඉතින් නිවාඩු කාලේ ගමේ ගිහින් සෙල්ලම් කර කර කාලය ගත කරපු හින්දා සුදු කලිසම් මැහිල්ල අමතක වුණා. අම්මට ඕක කියන්නත් මට අමතක වුණ හින්දා වැරැද්ද බෙදිල්ලක් වුණෙ නෑ. මුළුමනින්ම මගෙ විතරමයි.

අගෝස්තුව ගෙවිලා ඔන්න ඉස්කෝලෙත් පටන් ගන්න ළං වුණා. කනාවටවත් මට කලිසම් කතාව මතක් වුණෙ නෑනෙ. ළඟක යාළුවෙක්වත් හිටියනං ඕක මතක් වෙන්න තිබුණා. කෝ ඉතින් මාසෙම ගමේ හිටියහම යාළුවො එනවෑ එහෙ මට ඕක කියන්ඩ.

ගමේ ඉදලා ආව දවසට පහුවදා තමයි ඉස්කෝලෙ පටන් ගන්න තිබුණෙ. අම්මා පොත් ටිකට නම් පිටකොළත් දාලා හදලා තිබුණෙ. සියල්ල රෙඩි හින්දා ඔන්න මං ගියා.

ගේට්ටුව ළඟට යන්න වුණෙ නෑ. මට අමතක වෙලා තිබුණු මුළු මෙමරියම ක්ෂණයකින් මතක් වුණා. කොල්ලෝ දිහා බලාපුවාම පපු ප්‍රාදේශයට දාපු දැවිල්ල අද වගේ මතකයි. ඉහ මොළ රත් වේගන එද්දි දෙයියො බැලුවා වගේ ලකා (ගෞරවණීය ලක්මාල් සර්) කියාපු වචන ටික දෝංකාර දුන්නෙ කොහෙන්ද මන්දා.

පුපුරන්න ආව ගිනි කන්ද ඕං ලාවට වගේ නිමා ගත්තා. ඒත් අර පපු ප්‍රෙද්ශයේ දැවිල්ල නිට්ටාවට නැවතුනේ නෑ.

ඇයි දෙයියනේ කොල්ලෝ ඔක්කොම සුදු කලිසම් ඇදලා හිටියොත් මං පොඩි කාලේ ඉදන් මහන්සියෙන් හදාගත්ත මගෙ චරිතෙට මොකෑ වෙන්නේ කියලා හිත හිතා පන්තියට යන්න  ගේට්ටුවෙන් ඇතුල්වුනේ ඔළුව බිමට හරෝගෙන.

අනේ පන්තියට යනකම් කවුරැවත් මාව දකින්න එපෝ..කියලා හිතාගෙන ගියාට මොකද 10 වසර තියෙන්නේ ඉස්කෝලෙ අන්තිම බිල්ඩිමේ. අනික බුදු මැඳුර ඉස්සරහට ගිහින් උදෑසන ප්‍රාර්ථනාව කරන්නත් එපෑ. අද බෑ කියලා හිතන් ගියාට හෙඩා හිටියනෙ මොකාද වගේ බුඳු මැඳුරට හැරෙන තැනට වෙලා.

මට අදට විතරක් වෙන ආගමකට යන්න බැරිද හෙඩා අයියේ.. කියලා හිත කියෝනවා මට අද වගේ මතකයි. මට හිතන්නේ ඒ මේ සිද්ධිය හින්දා කෑව චාටර් එක හින්දා වෙන්න ඇති.

මොනා කොරන්නද මේකට මාව නෝට්. ගිය සතියෙ පරක්කු වෙලා ඇවිල්ලා අහුවුන හින්දා බුඳු මැඳුරට නොවැඳ ගියොත් මාව අල්ල ගනියි කියලා හිතුණු හින්දා මං වැඳලා ආවා.

ඇත්තම කියනව නම් බුඳු මැඳුර ඉස්සරහා අතුගාන 9යෙ නංගිලා හිටපු හින්දයි මං වඳින්න යන්න අදිමදි කලේ.

කොහොමින් කොහොම හරි වැඳලත් ආවා. වෙනදා කරන ප්‍රාර්ථනාව නෙමේ එදා කලේ.

 එකෙක් හරි කොට කලිසමක් ඇඳලා ඉන්ඩෝ...!!

ඔය වගේ එකක් තමයි ලාවට මතකෙ තියෙන්නේ.

තාම පන්තියට ගියේ නෑ හරිද. යන්න කලින් මෙහෙම පච වුනානං ගියාම කොහොම ඉන්න ඇද්ද කියලා හිතෙන්නැද්ද ඔයාලට.

කොහොම හරි ඔන්න පන්තියට ගියා කියමුකෝ. යනකං වින්ද වේදනා කියලා ඔයාලට මේක එපා කරන්නත් බෑනෙ.

අනේ ඇයි දෙයියනේ මේ ලෝකේ මෙච්චර කුරිරැ වුනේ කියලා හිතෙනවා නේද ඔයාලට.ඒකනෙ... අන්න ඒකම මටත් හිතුණා පන්තියට යද්දි. කියන්න ඕනෙ නෑනෙ කොල්ලො කියපු කුණු කතා. කෙල්ලන්ටත් හොඳ පල්ලම මාව කන්න. කට්ටිය වට කරගෙන මාව ......................

ඔව් ඉතින්, ඔයාලා ඔය හිතන විදිහටම මම චා වුනා.

 දැන් මට තියන එකම දුක එදා පන්තියෙ එකම කොට කලිසම මම වුන එක නෙමේ. ඔයාලත් හිතින් හරි මාව චා කරන එකටයි.  :(